භූමි චලනයක් වීමට හේතු-මහා පරිනිබ්බාන සූත්‍රයේම තවත් කොටසක

මහා පරිනිබ්බාන සූත්‍රයේම තවත් කොටසකටද අපගේ අවධානය යොමු කරමු.

’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහිදී සිහි ඇතිව මහා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. එකෙණෙහිම බිහිසුණු ලොමුදැහැ ගන්වන මහා භූමිචලනයක් විය. දෙව් ඛෙර පැළී ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එවේලෙහි මේ උදානය ප්‍රකාශ කළ සේක.

’මුනීන්ද්‍රයන්  වහන්සේ  සසරත්  නිවහන්  තුලනය  කරමින්  සසර  සංස්කාර  අත්හළ  සේක. විදර්ශනාවෙන් ආධ්‍යාත්මයෙහි ඇලී සමාහිතව තමා තුළ උපන් කෙලෙස් යුද සැට්ටයක් මෙන් බිඳ දැමූ සේක.”

එවිට අනද තෙරුන්ට මෙසේ සිත්විය. ’භවත්නි, ආශ්චර්යයි, භවත්නි, පුදුමයි. මේ භූමි චලනය විශාලය. අතිශයින් විශාලය, බිහිසුණුය, ලොමු දැහැ ගන්නා සුලූය. දෙව් ඛෙරද පැළී ගියේය. මෙවැනි භූමි චලනයකට හේතුව කුමක්ද?” අනතුරුව අනද තෙර බුදුරදුන් ළඟට ගොස් වැඳ පසෙක හිඳ ’ස්වාමීනි, මේ පොළොව කම්පාව විශාලයි. මෙයට හේතුව කුමක්ද?’ කියා විමසීය.

මෙයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ භූමි චලනයක් ඇතිවීමට හේතු අටක් පවතින බව පවසා එවා විග්‍රහ කළ අතර එයින් භෞතික හේතුවකට තිබුනේ පලමු හේතුව පමණි. අනිකුත් හේතු හත තමන්ගේ විශ්වාසය මත සිදුවන පාරභෞතික හේතු නිසා එවා විමසීමකට ලක්කිරීම අවශ්‍ය නොවන බව සිතමු.

පහතින් නැවතත් දක්වා ඇත්තේ දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයේ ඉහතින් ගෙනහැර දැක්වූ කොටසේ අනුබද්ධිත කොටසයි.

 

’භාග්‍යවතුන් වහන්සේ : ’ආනන්ද මහා භූමි චලනයක් ඇතිවීමට හේතු අටක් පවතී. එ අට කුමක්ද?

“ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යනවිට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව කම්පා වෙයි. භූමි චලනයක් වීමට මේ පළමුවන හේතුවයි.”


ඉහතින්  දක්වා  ඇති  මතය  අවිද්‍යාත්මක  එකක්  බව  පැවසීමට  අතිරේක  අටුවා  ලිවීමට අවශ්‍යතාවයක් නොමැත. විවිධ යුගයන්හි සඳ, හිරු, තාරකා හා පෘථීවිය පිලිබඳ අවිද්‍යාත්මක ජනමත පැවති බව නොරහසකි. විශ්වය පිළිබඳව මිනිසාගේ මත යුගයෙන් යුගයට වෙනස් වූවක් බව නොරහසකි. විද්‍යාත්මක දැනුම දියුණු වූවාට පසුවයි විශ්වය පිළිබඳ තරමක සත්‍යය කරුණු අපට දැනගන්නට ලැබී තිඛෙන්නේ. විද්‍යාව හා තාක්ෂණය දියුණු යුගයක ජීවත්වන අපට මෙවන් මතයක් මහ පොළොව පිලිබඳව පිලිගන්නට හැකි වන්නේද?

තමන් පය  ගසා  ජීවත්වන  භෞතික  පොළොව  ගැන  දක්වා  ඇති  මතය  මෙතරම්  අවිද්‍යාත්මක  වන්නේ  නම්, මිනිසාගේ දෑසට නොපෙනෙන උත්පත්ති තල තිස් එකක් පිලිබඳ මතය හා අනිකුත් ආගමික විශ්වාසය පදනම් කරගෙන ප්‍රකාශිත මත පිලිබඳව නැවත සිතා බැලීමකට ඔබ හා මා ඉදිරිපත් විය යුතු නොවන්නේද?

අන්ධ භක්තිය, පාරම්පරික විශ්වාසය හා කරුණු විමසීමකට ලක් නොකොට පිලිගත් බොහෝ පරම සත්‍යයන් ලෙස සිතා සිටි කරුණු ගැන ඔබත් මාත් යථාර්තවාදීව හා විචාරශීලීව නැවත සමාලෝචනයක යෙදිය යුතු වගකීම තමන් වෙත පවරාගත් උදවිය බවට පත්වී ඇති බව අවිවාදයෙන් පිලිගන්නට සිදුවන සත්‍යයකි .